Monday 20 October 2014

රාමසාන් උත්සවය වෙනුවෙන් ඇමති චම්පික රණවකගෙන් විශේෂ සහනයක්

By RSL - Fri Aug 17, 8:40 pm

මුස්ලිම් ජනතාව මාසයක කාලයක් උපවාසයේ නිරත වී හෙට රාත‍්‍රියේ නව සඳ බැලීමෙන් අනතුරුව උපවාසය අත්හැර රාමසාන් උත්සවය සැමරීමට නියමිත බැවින් රාමසාන් උත්සවය සමරන ඉරිදා දිනය තුළ දැනට පවතින විදුලි විසන්ධි කිරීමේ සැලසුම ක‍්‍රියාත්මක නොකරන ලෙසට අමාත්‍ය චම්පික රණවක මහතා පද්ධති පාලන අංශයට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප‍්‍රධාන නගර 78 ක උදෑසන 08.00 සිට සවස 06.00 දක්වා කාලයේ කාණ්ඩ තුනක් යටතේ පැය 03 යි විනාඩි 20 ක කාලයක් විදුලි විසන්ධි කෙරේ.

මෙම තත්ත්වය පුත්තලම ලක්විජය බලාගාරය නැවත බල පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව නතර කෙරෙන බවත්, මේ වන විට ජලවිදුලි උත්පාදනය ද 15% ට වඩා අඩු මට්ටමක පවතින බවත් අමාත්‍යංශය කියා සිටියි.

මෙම ජාතික අර්බුදය සැලකිල්ලට ගෙන අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චියට නැඹුරුවන ලෙසද සියලුම විදුලි පාරිභෝගික ජනතාවගෙන් අමාත්‍යාංශය විසින් විශේෂ ඉල්ලීමක් කරයි.

එසේම ඊයේ(16) දිනය තෙක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ගෙන යන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එය අත්හිටුවීමෙන් ඉනික්බිතිව අද දිනයේ නැවත සේවයට වාර්තා කල කිසිදු සේවකයකුට තාඩන පීඩන එල්ල කොට නැති බවත්, ඒ වග ඉංජිනේරුවන් ප‍්‍රමුඛ ලං.වි.ම පාලන අධිකාරිය තහවුරු කරන බවත් අමාත්‍යංශය නිවේදනය කරයි.

Leave a Reply